මානසික සුවයට සොබාදහම
මානසික සුවයට සොබාදහම
ගිනි අව්වට කැකෑරෙන නාගරික පරිසරයක ජීවත්වෙනවා නම් රථවාහන, යන්ත්‍ර සූත්‍ර, කැසට් යන්ත්‍ර ආදියෙන් නැගෙන කර්කශ රළු නාදයන් ඔබේ මනසේ ශාන්ත බව නැතිකරනවා නේද? දූවිල්ලෙන් දුමෙන් පිරුණු සුළගක සිසිලසක් කොයින්ද ? කාර්යය බහුලත්වය නිසාවෙන් ඔබට ඔබ ගැනම සිතීමට අමතක වී ඇත. හිසරදයන් වේදනාවන් දැනුන විට බෙහෙත් පෙත්තක් රැගෙන නැතිනම් වෛද්‍යවරයකු වෙත ගොස් එය සුව කර ගනීවි. එහෙත් ඔබ සිතුවද ඔබේ ශරීරයේ මේ රෝග බොහෝමයකටම ඔබේ මනස වගකිව යුතු බව. ඔබේ ශරීරයේ ඇතිවන කායික රෝග බොහෝමයකටම හේතු වන්නේ මනසේ රෝගී බවයි. ලොව පුරා මනෝ විද්‍යා පර්යේෂණ වලින් මේ බව සනාථ වී ඇත. එබැවින් ප්‍රථමයෙන් අප සුවපත් කළ යුත්තේ අපේ ශරීරය නොව මනසයි.
ඔබ කොතරම් කාර්‍යබහුල පුද්ගලයෙකු වුවත් මසකට වතාවක් නිසංසල පරිසරයකට ගොස් මදක් විවේක ගන්න. වන ජීවින්ගේ හැසිරීම් රටා නරඹන්න. ඔවුන්ට හිරිහැරයක් නොවන ලෙස ගවේෂණය කරන්න. හරිත ඇතිරිල්ලෙන් වැසුනු කදු මුදුන්වලින් පහලට ඇදෙන සුන්දර දිය ඇල්ලක් දෙස බලාගෙන සිටින්න. දොළ පාරක් අසල තිබෙන ගලක් මත හිදගෙන දොළ පාර ගලන සැටි බලන්න. ඇස් පියාන ඒ ගලන හඩට මනසින් සවන් දෙන්න. අවට ලෝකය අමතක කොට එම දොළ පාරත් සමග මනසින් ගලන්න. තුරු ගොමුවෙන් වටවූ තැනක පොළවේ හෝ මුලක් මත හිදගන්න. තුරුපත්වල කොළ පැහැයෙන් මනස්කාන්ත පරිසරයේ විවේකීව ගවේෂණයක යෙදෙන්න. සුළගට නැගෙන සිහින් සරසරයට සවන් යොමා ගෙන භාවනාවක යෙදෙන්න. කටුක පරිසරයෙන් මිදී ඒ නිසසල බව තුලට සම වැදුණු ඔබේ මනසට නිරායාසයෙන්ම පහන් හැගීම් ගලා එනු ඇත.
කාර්‍යබහුලත්වය තුළින් පැනෙන නැගෙන අවිවේකී බව පමණක් නොවෙයි, අපේක්ෂා භංගත්වය, කෝපය, මානසික වේදනාවන් ආදී මානසික ව්‍යාධීන් ඔබේ ශරීරය රෝගී කරවයි. නෝමන් විල්සන් පීල් කතුවරයා "The power of positive thinking" කෘතියේ මෙසේ දක්වා ඇත. "දිනකට කිහිප වතාවක් සියලු දුක් පීඩා වලින්, ප්‍රශ්න තැවුල් වලින් මනස හිස් කරන්න. අධ්‍යාත්මිකව සිතන්න. විශ්ව බල ශක්ති මහිමයේ බලයෙන් මනස පුරවන්න. දිනකට තෙවතාවක්වත් ඔබේ ඇස් කදු දෙසට හරවන්න. සොබාදහමේ රිද්මය හදුනාගන්න. ඔබේ මනස ශාන්තියෙන් සහ මිහිරෙන් පිරවීමට සොබාදහම් මාතාව සැදී පැහැදී සිටින බව නිතර සිහිපත් කරන්න. තිරිංග අක්‍රීය වූ දුම්රියක් වැනි ඔබේ අවිවේකී වෙහෙසකර මනසට වෙනසක් ලබා දෙන්න. එවිට ඔබේ ජීවිතය කෙතරම් සුවදායක හා ප්‍රබෝධවත් බවට පත්වන්නේදැයි බලන්න."
තුරු වදුලින් ගහන ස්වභාවික පරිසරය, ඔබේ මනස හා ඇති සබැඳියාව ඉතා සමීපය. ඉතින් එවන් පරිසරයක් කෙදිනක හෝ ඔබ දැක නොතිබේ නම් ඔබේ ජිවීතය කෙතරම් යාන්ත්‍රික, අප්‍රසන්න වූවක් වන්නට තිබුණාදැයි සිතා බලන්න. ඒ නිසා අනාගතයටත් ඒ ස්වභාවික සුන්දරත්වය ඉතිරි කරගන්න. ඔබ ඔබේ ජීවිතයට මනසට ආදරය කරනවා වගේම වනාන්තරයටත්, දොළ පාරටත්, විහග ගායනයටත්, මහ පොළවටත් සතා සිව්පාවටත් ආදරය කරන්න. සොබාදහම සමග ජීවත්වන්න එවිට ඔබ ජීවත් වෙනවා යන හැගීම ඔබට දැනෙයි.
සටහන
චමෝදා නෙත්මිණී අභයරත්න
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි
Comments
Post a Comment