Pink Lake

 


සොබාදහමේ විශ්මිත 

නිර්මාණය 

 Pink Lake 


විලක් යනුවෙන් සදහන් කළවිට අප සියලු දෙනාට මතක් වෙන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි. නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විල එසේ නොවෙයි. එහි ජලය නිල් පැහැය වෙනුවට රෝස පැහැයක් ගෙන ඇත.  ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය වැඩි කරන ස්වභාවික දායාදයක් ලෙස මෙම රෝස පැහැති විල හදුන්වා දියහැකිය.මෙම හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමැති දූපත තුළය. සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල 600m පමණ දිගින් යුක්ත වන අතර පළල 250m ක් වේ. මෙම විල පළමුවරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසින් 1802 වසරේදී ය. ඔහු ඒ අසල තිබූ උස කන්දකට නැගිවිට ඔහුට රෝස පැහැයෙන් යුතු මෙම විල දකින්න ලැබී අතර ඔහු විසින් ඒ පිළිබදව ඔහුගේ දිනපොතෙහි සටහනක් තබා ඇත . මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද  ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් වේ. මෙහි පිහිටීම පිළිබදව සලකා බලන විට එය අවට කපුරු වැනි ගස් වලින් සමන්විත වන අතර එහි උතුරු දෙසින් පිහිටා තිබෙන්නේ පැසිපික් සාගරයයි.ජලය රෝස පැහැතිවීම පිළිබදව පර්යේෂකයන් බොහෝ පර්යේෂණ සිදු කළද තවමත් ඒ සදහා නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. නමුත් එහි ජලය රෝස පැහැය පිළිබදව බොහෝ දෙනෙකු විශ්වාස කරන මතය නම් එහි ජීවත් වන ඇල්ගී විශේෂයක් නිසා මෙහි ජලය රෝස පැහැවී ඇති බවයි. 2013 වර්ෂයේ මෙය සම්බන්ධ පරීක්ෂණ සිදුකළ අතර මෙම විලෙහි ජලය තුළ Dunaliella Salina නැමැති ඇල්ගී විශේෂය වාසය කරන බවට සොයාගෙන තිබේ. ඊට අමතරව සිදු කළ තවත් පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ අධික ලවණ සහිත විල් ජලය තුළ ඇල්ගී හා බැක්ටීරියා විශේෂ 10ක්  පමණ වාසය කරන බවත් එම ජීවින්ගේ බොහෝමයක් දෙනා රතු හෝ රෝස පැහැති වන බවයි. ඒ අනුව මෙම ජලයේ පැහැයට හේතු වී ඇත්තේ මෙහි වෙසෙන ඇල්ගී වල වර්ණයයි. මෙම විලෙහි ලවණ සාන්ද්‍රණය ඉතාමත් අධික  වන අතර මුහුදු ජලයේ මෙන් 10 ගුණයක ලවණ සාන්ද්‍රණයක් මෙහි පවතී.මෙහි ඇති ලවණ සාන්ද්‍රණය තුළ ඇති  halophilic නැමැති බැක්ටීරියාවක් මෙම වර්ණයට හේතුවන බවද මතයක් ඇත.  මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් රෝස පැහැති විල් වල ජලය මෙන් නොව මෙහි ජලය ඉවතට ගත්තද ජලයේ රෝස පැහැය එයාකාරයෙන්ම පැවතීමයි. එමෙන්ම මෙහි වාසය කරන  Dunaliella Salina  ඇල්ගී විශේෂය මිනිසාට හානිකර නොවේ. අතීතයේදී මෙම විල ලුණු කර්මාන්තය සදහා යොදාගෙන තිබුණද වර්තමානයේදී  එය නවතා සංචාරක කර්මාන්තය සදහා විවෘත කර ඇත. සොබාදහමේ විශ්මිත නිර්මාණයක් ලෙස මෙම රෝස පැහැති විල අප පරිසරයේ සුන්දරත්වය තව තවත් වැඩි කරන අතර මිනිසුන් විසින් රැකගත යුතු සම්පතක් ද වේ.

සටහන

නෙත්මිණී අභයරත්න 






Comments

Post a Comment

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය