ඖෂධ වනාන්තර
ඖෂධ වනාන්තර
ඉන්දියාව ,ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය ,ඉක්වදෝරය, බ්‍රසීලය ආදී රටවල ද ඖෂධීය ශාක පැවතියත් ලංකාවේ ප්‍රදේශ කිහිපයකම දැඩි ඝනත්වයකින් යුතු ඖෂධීය ශාක රාශියක් පවතී.ලංකාවේ සතර දිග් භාගය පුරා සිව් දෙස ආවරණය කරමින් පවතින මෙම ඖෂධ වනාන්තර හෙළයේ මහා ඔසුසැල් ලෙස හැදින්විය හැකිය. ලංකාවේ ඇති ඖෂධ වනාන්තර හදුන්වා දීමත් ඒවායේ ස්වාභාවය සුවිශේෂත්වය හදුනා ගැනිමත් වැදගත් වේ.
රිටිගල
ලංකාවේ වියළි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 1528ක් පුරා විහිදුනු මීටර 1817ක් තරම් වන උසකින් යුත් ලංකාවේ අභ්යන්තර තැනිතලාවේ උසම කන්දයි. කදු මුදුනෙහි තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ ද පෙන්වන මෙම වන පියසෙහි සියලු දේශගුණික ලක්ෂණ වලට අනුවර්තනය ශාක වර්ධනය වේ. වර්ෂ 1941.11.07 වන දින ගැසට් අංක 8809 යටතේ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් විය. වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම අගනා වන පියස මෙරට දැඩි රක්ෂිත 3න් වැදගත්ම එකද වේ.
මෙම වන පියසේ ශාක විශේෂ 418k ව්‍යාප්ත වී ඇත.මේ අතරින් ලෝකයෙන්ම රිටිගල පමණක් තිබෙන ශාක විශේෂ 3කි.
1. රිටිගල ගල්කප්පර වල්ලිය
2. රිටිගල වන මී
3. රිටිගල තම්බර්ජියා
මෙම රිටිගල වන පියසෙහි පවතින ශාක විශේෂ වලින් බහුතරයක් ඖෂධ ශාක වන අතර මෙයින් අරළු ,බුළු,නෙල්ලි ,බිං කොහොඹ ,කොතල හිඹුටු ,
අට්ටික්කා,ගල් සියඹලා, වල් නව හන්දි ,වන රාජ,
සැවැන්දරා,ඉරමුසු ,රණවරා, ගම්මාලු ,මහ හැඩයා
ආදිය කැපී පෙනේ.
රූමස්සල
ලංකාවේ තෙත් කලාපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සාගරයට යාබද කදු වැටියක් ලෙස රූමස්සල ඖෂධ වනාන්තරය දෘශ්යමාන වේ. හෙක්ටයාර 171ක පමණ ප්රදේශයක ව්යාප්ත වූ මුහුදු මට්ටමේ සිට මීටර 110 පමණ උසක් දක්වා විහිදෙන සුන්දර කදු වැටියක මෙම වන පියස ව්‍යාප්ත වී තිබේ.තෙත් කලාපීය දේශගුණයක් පවති. සාගර ආසන්නයේ බැවින් කඩොලාන ශාක විශේෂ වල සිට තෙත් කලාපීය උප කදුකර ලක්ෂණ පෙන්වන ශාක විශේෂ දක්වා වර්ධනය වී තිබේ. මේ අතර ඖෂධ ශාක විශේෂ බහුතරයකි.මේ අතර
අන්කෙන්ද , ඔලිඳ ආඩතෝඩ,පාවට්ටා, කුඩා හැඩයා, කොබොනීල ,රුක් අත්තන ,කිඩාරං, ගිරිතිල්ල, වල්දෙල්, යකිනාරං ,ලුනුවිල ,කටු කුරුදු, වරා, වැල් පෙනෙල , කහට ඇත්තෝර ,පෙතිතෝර , මහ උදුපියලිය, ගොඩපර , නවහන්දි, මහනුග, මස්බැද්ද, දිවි කදුරු, නික, මූනමල්, මොනර කුඩුම්බිය ආදිය කැපී පෙනේ.
නිල්ගල
අම්පාර හා මොණරාගල දිස්ත්‍රික් වලට අයත් වන මෙම නිල්ගල වන උයන සුප්‍රකට ගල්ඔය වනොද්‍යානයේ බටහිර කොටස වේ. හෙක්ටයාර 25,900 පුරා ව්යාප්තව පවති. සැවානා වනාන්තර ලක්ෂණ සහිත මෙම වනයෙහි පවතින ශාක වලින් 90% පමණ ඖෂධ ශාක වන නිසා අතීතයේ මෙරට පාලනය කළ බුද්ධදාස රජතුමාගේ රාජකීය ඔසු උයන ලෙස සැලෙකෙන නිසාත් නිල්ගල වන පියස ඉමහත් වැදගත් කමක් දරනු ලැබේ .
මෙහි පවතින සිය ගනනක් වන ශාක විශේෂ අතර නෙල්ලි , අරළු ,බුළු, බිං කොහොඹ ,ඒකාවරිය, කහට ,බෝමී ,ගොරක ,කොතලහිඹුටු ,දුම්මැල්ල, ඉරමුසු ,ගම්මාලු, රසකිඳ ,හාතාවාරිය, නියගලා ආදිය ප්රදාන වේ. මෙම වනයෙහි බොහෝ ස්ථාන වල ඉලුක් හෝ මානා අතරතුර අරළු ,බුළු, නෙල්ලි ,කහට යන ශාක අතිබහුතරය නිර්මාණය කළ සැවානා වනාන්තර කොටස් ඉතා සිත්ගන්නා සුළු වේ.
දොලුකන්ද
කුරුණෑගල දිස්ත්රික්කයේ කුඩා වැව් වලින් වටවු ප්‍රදේශයක දොලුකන්ද වන පියස දැකගත හැකි.
අතීතයේ ඖෂධ උයනක් ලෙසටත් බෞද්ධ මද්යස්ථාන වලත් පහස විදි මෙම කදුකර පෙදෙස අදටත් ඖෂධීය වටිනාකම් ලොවට දායාද කරමින් තිබේ.
කුඩා වැව් ආසන්නයේ සුන්දර පරිසරයක් නිර්මාණය කරන මෙම වනපියස හෙක්ටයාර් 500ක පමණ වපසරියක මුහුදු මට්ටමේ සිට අඩි 300-857 අතර විහිදෙන කදුකර ප්‍රදේශයක පවතී.
සිය ගණනක් වන ශාක විශේෂ අතර වටිනා ඖෂධ ශාක විශේෂ රාශියකි. බැබිල, විශ්නු ක්රාන්ති, සුදු හදුන්, රත් හදුන් , වෙනිවැල් , බිම් තඹුරු ,මගුල් කරද,ආඩතෝඩ , කුඩා හැඩයා , මහා හැඩයා ,ඉරු රාජ, කොතලහිඹුටු , බිං කොහොඹ ආදිය කැපී පෙනේ.
නෙල්ලිකැලේ
අම්පාර නගරයට ආසන්නව පිහිටා ඇති රක්ෂිතය පාරිසරික වටිනාකම අතින් ඉතා ඉහලය. ඖෂධීය වනාන්තරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර වනාන්තරය තුල ඖෂධීය පැලෑටි විශාල ලෙස දැකිය හැකි.
මේ වනාන්තර වලට අමතරව ඖෂධ අතින් වැදගත් වනාන්තර කිහිපයක් දැක්විය හැකිය.
1. නෙල්ලිකැලේ (අරණායක - කෑගල්ල )
2. දඹේකැලේ ( නිල්දන්ඩාහින්න - වලපනේ )
3. රාජුරුවාගල රක්ෂිතය (දැරණියගල -කෑගල්ල)
4. රජවක යෝජිත රක්ෂිතය ( බලංගොඩ- රත්නපුර )
5. පතන්කන්ද ( ඕපනායක - රත්නපුර )
6. සල්ගල රක්ෂිතය (කෑගල්ල )
මේ නිසාම මෙම වන ගොමු වලට සිදුවන අහිතකර බලපෑම් හෙළයේ සෞඛ්‍ය තත්ත්වයට පහර දෙන අතුල් පහරවල් වනවාට කිසිදු සැකයක් නැත. එබැවින් ජාන මංකොල්ලයේ සිට දැව දඩු ජාවාරම හරහා හේන් ගොවිතැන තෙක් සුදුවන අකටයුතුකම් වලින් මෙම වන පියස් රැක ගැනීම අදාල ආයතනික නිලධාරීන්ගේ ත් පොදු මහජනතාවගේත් පරම යුතුකමක් විය යුතුව තිබේ.
සටහන
නෙත්මිණී අභයරත්න
මූලාශ්‍ර - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි
Comments
Post a Comment