ලංකාවේ සුන්දරම දූපත ඩෙල්ෆ්ට්

ලංකාව සුන්දර දිවයිනක් වන අතර දේශසීමාවේ අභ්යන්තරයේ ද තවත් සුන්දර කුඩා දුපත් රැසක් පිහිටා තිබෙනවා .ඉන් වැඩි ගණනක් ඇත්තේ ශ්රී ලංකාවේ උතුරුදිග මුහුදු කලාපය ආවරණය වෙමින් . මේ දූපත් සමූහය අතරින් ඩෙල්ෆ්ට් දූපත වඩා චිත්තාකර්ෂණීය දූපතකි. වර්ග කිලෝමීටර 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර 08ක් පමණ වේ . පළලින් කිලෝමීටර 06ක් පමණය. යාපනය අර්ධද්වීපයෙ බටහිර දෙසින් පිහිටා ඇති මේ දුපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක් සහිත මෙය වගුරුබිම් වලින් සුසැදි මනරම් වෙරළ තීරයකට උරුමකම් කියන්නකි .

විවිධ හැඩයෙන් යුත් හුණුගල් තට්ටු දූපත පුරාම තැන තැන විසිරී ඇත. මෙය ඩෙල්ෆ්හී කිසියම් අනන්යතා ලක්ෂණයක් ප්රකට කරන්නක් සේ හැදින්විය හැක . මෙහි තිබෙන ඉපැරැණි ගොඩනැගිලි හුණුගල්වලින් තනා තිබේ. නටඹුන්ව ගිය පැරණි ඕලන්ද බළකොටුව මීට කදිම නිදසුනකි. ඕලන්ද සමයේ අශ්වයින් පුහුණු කිරීමට හා උන් රදවා ගැනීමට සකස් කළ අශ්ව ඉස්තාලයද ගොඩනගා ඇත්තේ යෝධ හුණුගල් වලිනි .
විවෘත තණබිම්වල හා වගුරු සහිත විල්ලු ප්රදේශ වල සැරිසරන කැළෑ පෝනියන් රංචු වශයෙන් ගැවසී සිටිති. ඕලන්ද සමයේ ඩෙල්ෆ්ට් දූපතට මේ සත්ත්වයින් ගෙන ආ බව පැවසේ . අද වෙසෙන පෝනියන් මෙරටට නැව් මගින් ගෙන ආ සතුන්ගෙන් පැවත එන බව අපට අනුමාන කළ හැකිය .
මෙහි පොලොවෙන් අඩි පහමාරක් පමණ උසට මතු වූ හුණුගල් පාශාණයක් ඇත. මෙය වැඩෙනගල යනුවෙන් දූපත් වැසියෝ හදුන්වති. එය දිනෙන් දින වැඩෙන බව ඔවුන්ගෙ මතයයි.
පරෙවි තැපෑල කාගෙත් සිත් ගන්නකි . එකල නැවිවලට හා වෙනත් ස්ථාන වලට බොහෝවිට පණිවිඩ රැගෙන යන්නෙ මේ පරෙවි තැපැල මගිනි.
ඩෙල්ෆ්ට් වැසියන් හුණුගල්වලින් උපරිමයෙන් ප්රයෝජන ගැනීමට රුසියෝය. සමහරක් තැනක තල් අතු යොදාගනිමින් සිය මායිම ලකුණු කර තිබුණද බොහෝ දෙනා තම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ හුණුගල් එකපිට එක තබා අලංකාරව ඉදිකළ උසැති හුණුගල් තාප්ප වලිනි . මෙයද ඩෙල්ෆ්ට් දූපතේ අනන්යතාව ප්රකට කරන්නකි.
ලන්දේසින් මේ දුපත අල්ලා ගැනීමට ප්රථම එය චිත්තාකර්ෂණීය මල් උයනක් විය. එකල මේ මල් උයන පාලනය කර ඇත්තේ වීදියරසන් නම් දකුණු ඉන්දීය මුහුදු කොල්ලකරුවෙකි. දූපතේ වැවි දෙකක් ඔහු විසින් සදා ඇත.
මෙහි වෙසෙන බොහෝ දෙනා ගත කරන්නෙ සරල ජීවිතයකි . ප්රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය . කරවල වේලීම ජීවන් වෘත්තීය වේ .සූර්ය තාපය මේ දුපතට පතිත වීම ඊට හේතුව වන්නට ඇත. ඩෙල්ෆ්ට් හී ප්රධාන බෝගය තල් ගස්ය . තල් මලෙන් පෙරා ගන්නා රා ඩෙල්ෆ්ට් වැසියන්ගෙ ප්රියතම පානයයි. මිශ්ර ශුෂ්ක වියළි ඝර්ම කලාපීය වන වැස්මක් දූපත පුරාම පැතිර තිබේ. තල් ගසින් පිරී වනාන්තර ස්වබාවයක් ගනී . තල් ආශ්රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි. තැනිතලා බිම් වල පදුරු සහිත කැළෑ දක්නට ලැබේ .
හුණුගල් සහිත පසක් දුපත පුරාම පැතිරී තිබෙන නිසා මෙහි ජලය දැඩි කිවුල් ස්වභාවයක් ගනී. එනිසා දූපතේ ජනයාට අවශ්ය පානීය ජලය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරති. නුග , හීරැස්ස ,ගංසූරිය , මිනීමල් හා කෝමාරිකා ශාක වර්ග දැකිය හැකිය. එකල රන්වන් කෝමරිකා බහුලව තිබූ බව ගම්මුන් පවසති. වෙරළ ආශ්රිතව කටු ඉකිලි , මුහුදු බිං , තඹුරු , මුඩුමහණ , නාග දරණ වැනි ශාක වර්ග ද දැකිය හැකිය.
මෙහි අපූරු ළිං හතේ කරදිය වෙනුවට මිරිදිය තිබීම විශේෂ වූවකි.
සංචාරක පක්ෂින්ගේ නිජබිමක් වන මේ දූපතේ නිදැල්ලේ සරන ගවයින් එලුවන් සුලබව දක්නට ලැබේ.
විදේශ සංචාරකයින් ආකර්ශනය කළ හැකි මෙවැනි දූපත් රටට මහත් සම්පතකි . එසේ වුවත් මෙහි පරිසරය විනාශ නොකර මෙහි සුන්දරත්වය විද ගැනීම අප සැමගේ වගකීමකි.
තොරතුරු හා චායාරූප අන්තර්ජාලයෙනි













Comments

Post a Comment

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය